Wednesday, June 7, 2017

මහගෙදර

ගොම්මන පසුවූ රාත්‍රියේ,
ගඩොල් අදින කතක් දිටිමි.
තම සෙවන තනන්නට වෙහෙසෙන ඈ,
අතීතය මතකයට ගෙන ආවාය.

පෙර දවසැ, මහගෙදර ගොඩනගන කල්හිද එය එසේමවිය.
මහ ගෙදර කීවද එහි සාම්‍ප්‍රදායික මහගෙදරක සිරි නොතිබිණි,
ඒ හැගීම අදටත් එසේමය.

මහරැයේ රැගෙන එන ගඩොල් බෑම,
ගෙපොලට ගෙන ඒම අප අතින් සිදුවිය.
වැවිමනත් කාර්යය සිදුවූයේ මව් හා පියාගෙනි.
මෙය ගල්, වැලි, සිමෙන්ති දක්වා විහිදි ගියේය.
බොහෝ ගඩොල් හි අප හතර දෙනාගේම අත් පාරවල් තිබේ, නැතහොත් සෑම ගඩොලකම අප ගෙන් එකෙකු ගේ අත් සටහන් අනිවාර්යය.

අතිශෝක්‍තියක් නූනත් එකල්හි අප විසූ පැරැණි ගෙය,
අධ්‍යාපන සුරපුරයක් විය.
අධ්‍යාපන කටයුතු සදහා පැමිණි සිසු සිසුවියෝ බොහෝවිය.
ඔවුන්ගේ කරමතින්ද ගඩොල් සැපත් විණි.
හිතවතුන් හා නෑයින්ද අමතක කල නොහැක.
මුදලින් මැනිය නොහැකි ශ්‍රම දායකත්වයක් එහි අන්තර්ගතය.

මුදල් යොදා කලමණා එක්කර තැනූවත්
එහි පදනම,
මව්ගේත පියාගේත් දහඩිය, කදුළු හා ලේ ද හිතවතුන්ගේ ශ්‍රමයද වේ.

එකදහස් නමසිය අසූ හතරේදී උළු ටිකක් මිළට ගෙන ආරම්භ කල ගොඩනැගීම තවත් අවසන්ව නැත,
කිසිදා අවසන් නොවනු ඇත.
කාලාන්තරයක් ජනෙල් දොරවල් නොවූ එය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම නිවහනක් විය.
නිවහන වන් වූ තැනක් මේ තුන් ලොවෙහිම නොමැත.
ඔබ සැමට පින්!

No comments:

Post a Comment