Tuesday, July 11, 2017

සද

සොළොස්වක සද,
පායන දිනක,
වලාකුළු නැති රැයක,
පියමනින්නෙමි,
සද දෙසට.

ඔබ සදකි!
ගණාදුර දුරලන මිණිපහනකි,
සද එළියට දිලිසෙන ඔබෙ වතමඩල,
සිපගන්නට හැකිවේද ජනේල් කූරු අතරින්.

වැටින් පැන,
විටින් විට,
විපරමින් බල,
හදපානේම ලංවුනි කව්ලු පියනට.

නිසසල රාත්‍රිය,
සසල කරමින් නැගේ හද ගැස්ම,
රැහැයි නද පරයමින් පෙරමග,
දඩෝරියාය හරහට.

ඉවසමින හැකිපමණ,
දඩයමට එළැඹි දිවියකුමෙන්
හීන් සීරුවට ඇදුනා
කව්ලු පියන අද්දරට.

විවරවිණි පියන් පත්,
සනසවිමින් සවන් පත්,
දුටුව දසුනින් මන්මත්,
වීය මගෙහද හිතවත්.

ඔබෙ සිනහ මුහුණින්
ගලා ආ කරුණාවෙන්,
අකුණු සැර වැදුනමෙන්,
කිළිපොලා ගියෙ සිසිලමෙන්.

කෙදිරිලි ආදර තෙපුල් අත,
වේලාව ගැන වගක් නොවිණි,
පාන්දර ජාමය එළැඹි බව,
දැනුනේ කුකුලා හැඩලූ පසුවය.

වහා යායුතුය,
සොදුරු මොහොත අවසන්ය,
නැවත දිනයක,
එන්නම්ය,
සුදුමුහුණ සිපගන්න.

එතෙක් අවසරයි මට,
දුරස්වී යන්නට,
නැවත එන දිනයට,
පියන් පත් හැරතියන්ට.


No comments:

Post a Comment