Thursday, July 22, 2021

තාත්තා

ගුරුවරයෙක් වූ පියා ගැන පුතා කතාකිරීම අතිශෝක්තියට නැඹුරුවක් ඇතත් එය අතිශය පෞද්ගලික කාරණාවක් බැවින් ගෝලබාලයින් ඊට එකඟ වීමට හෝ නොවීමට හැකිය. 
අධ්‍යාපනය ගඟක් නම් එහි පාවෙන පාරු වන්වූ සිසු සිසුවියන් ගඟක් ගලන්නාසේ පාසල, මෙන්ම නිවසද උතුරා පිටාර ගලා යනව ආකාරය කුඩා සන්දියේ සිට මටද නැගණියටද සුපුරුදු දසුනක් විය.
දියේ ගැඹුර හරිහැටි කියාදී එහි නොගිලෙන ලෙසට  පියෙක් මෙන් අතෙන් අල්ලගෙන පාකරල දුර ඈත ගිය දක්ෂයෝ කොතෙකුත් වෙත්, ඔවුන් යෙහෙන් වැඦබෙත්. 
කලක් ගිහින් ළමයින්ට ඉගැන්වීම කාර්‍ය්යට අමතරව ගුරුන්ට ඉගැන්වීමට තාත්තා යොමුවීම ගුරුගෝල පරම්පරා කිහිපයක් හා පුළුල් වපසරියකට ඒ සෙවනැල්ල වැටීම රටේ මහා භාග්‍යයක් විදිහට දකිමි. 

විශ්‍රාමික දිවියට ඇතුලත් උනත් ගුරුවරුන් කිසිදා විවේකයක් නොගන්නා බවට ජීවමාන සාධකයක් වේනම් ඒ මා පියා වෙත්. කොරෝනා සමයේ අහලපහල නන්නාඳුනන කොළු ගැටයින්ට කතා කර ඉගැන්වීම් කා‍‍‍‍ර්‍ය්යයේ යෙදුනේ අවදානම ගැන නොසලකමින්.

තාත්තා පියෙක් ලෙස කරන්නට කියන්නට ඇතිදෑ දැන් පෙනෙන්නේ මිණිබිරියන් තිදෙනාට කරන කියන දේවල් වලිනි, සීමා මායිම් රහිත එවන් ආදරයක් ❤ කරුණාවක්, රැකවරණයක්, නොවෙනස් දයාවක් දෙනෙතින් දැක්කානම්, ලොවේ ඇතිනම් අත්දුටුවානම් ඒ තාත්තගෙන් දැනුදු අපි දෙදෙනා අත්දිටිමු. ජීවිතයේ කිසි දිනක ඒ ආසන්නයට හෝ  යන්නට මා හැකිවුවහොත් එය මහා පිම්මකි.

තාත්තා ගේ ඉගැන්වීම හුදෙක් පොතට පතට සීමා වූවක් නොවේ, මා කුඩාකල ඉගැන්වීම් කලේ බොහෝවිට පයින් ගමන් යන අවස්තා වලදීය. ජීවිතය, පරිසරය, මිනිස්සු, මානවදයාව, ඉස්සර ජීවිතය හා සමාජය නිතර කතාවූ මාතෘකාව විය. පරණි බස්නැවතුම් මැද කොරිඩෝවේ තනියෙන් යන්නට කියා දී දුන් අත්දැකීම් ජීවිතයට මහත් පිටිවහලක් විය. 

දාර්ශනික අදහස් වලින් පිරිපුන් තාත්තා මගේ උපන්දින පින්තූරයක්  පිටිපස මෙලෙස ලියා තිබුණා 

"සිතූදේ කරන්න - ඔබ වීරයෙකි, 
කලහැකිදේ පමණක් සිතන්න - ඔබ බුද්ධිමතෙකි" 

සුභ උපන්දිනයක් තාත්තා 
සත්‍යාවබෝධ වේවා !!!



No comments:

Post a Comment