Thursday, August 31, 2017

පරණ මතකයක්

කාලයකට ඉහත මා පියා විසින් කී මේ කතාව ලියා පලකරනු කැමැත්තෙමි.

පෙර දවස මකල මෙන් ආන්දෝලනාත්මක නොවූ ලෙස ඉතා සරලව විභාග පැවැත්විණි.

උත්තර පත්‍ර පරීක්ෂාව මෙවන් සංකීර්ණ නොවීය. උත්තර පත්තර පරීක්ෂකගේ නිවසටම යවනුලබයි.

කතාව පටන් ගන්නේ එතැන් සිටය
කතා නායකයා ( මාගේ පියා )
උගත්තේ කතෝලික පාසලකය.
ඉගැන්වීම් කලේ කතෝලික පියතුමන් විසිනි
එතුමන් සෑම උදෑසනකම තම ශිෂ්‍යයන්ට ප්‍රාර්තනාවක් කිරීමට කියා දී ඇත.

ඒ කිමෙක්ද යත්
උත්තර පත්‍ර පරීක්ෂක උදෑසම ස්නානය කර, ආහාර ලබාගෙන, දුම්වැටියක පහස විද මුලින්ම පරික්ෂාවට ගන්නා උත්තර පත්‍රය මාගේ වේවා!!!

බොලද ලෙස පෙනුමක් ඇතිමෙහි ගම්‍ය වන කරුණ ඉතා වැදගත් වේ
අදහස් දිගහැරුම ඔබට භාරයි.

අර්ධාවසාන

එලොවත් නැති
මෙලොවත් නැති
ප්‍රේමය,
ගත සිත දෙකම වෙලාගෙන
සිත පහුරුගා අනාතකර
දැන් ඒ ගත අංශභාගවී

ප්‍රේමයෙන් ඉක්බිති
එක්වහලක්ව
ක්‍රෝධයෙන් පොරකා
වෙන්වයයි නොබලා

ගතේ වේදනා සුවවී
පැහැපත්‍ය ගත අගේ
එනමුත් සිත් පැල්ම
සසලවයි බියෙන් තැතිගෙන

ටිකෙන් ටික අඩුවී
වේදනා පහවගිය පසු
නිසල දිය සසලවයි
විටින් විට එන පොදින්

අමිහිරිම අතීතය
රොන්මඩව තැම්පත්ය
සිතේ එක් මෘදුමොලොක්
අහිංසක පැති කොනෙක

පැන් පොදක් දිවගෑමුත්
සසලවන දිය පටල
කලතවයි රොන්මඩම
නොගැඹුරු නිසා ජලතලය

දිය පිරෙන්නට
කලක් යයි නොදැනීම
දියක් බොන්නට අවැසි
දිවක් වේවිද ඒ කලට.

බොද සිහින

සිහිනයක නිමග්නව
කිසිදා නැවත සිහි නොලබන ලෙස
අත පය නොසෙල්විය හැකි ලෙසට
දර දඩුය මුළු ගතම

සිත් වාරු නොමැතිව
කෙසේ පිටව යන්නද
තනාගත් දෙවොල හැරදා
සියළු බැමි බිදදා

සයනයේ සැතපී
කිසිදු හව්හරනක් නොමැතිකමින්
නැගිටින්නට නොහැකිව
කාලය ගෙවීයයි හනිකින්

සොවේදන කිසිත් නොමැතිව
අවට ලෝකයේ තතුත් නොදත්
සිත් මූල ජීවියා
සිහිනයේ නිමග්නය

අවසනද ඇරඹුමද
හරිහැටිය නොදැනම
සිහිනයෙන් සිහිනයට
පා තබයි නොනැවතී

අවදි වන්නට
කාලයයි මේ
අළු ගසා හැර දමා
සද්දන්ත ඇතෙක් මෙන්.

Wednesday, August 30, 2017

කවිය

කවිය ඔබ,
කිසිදා නොලියූ
නොලියාම අවසන් වූ

පන්හිඳ මම,
ලියන්නට තැත් කල
කිසිදා අකුරු නොකෙරූ

දෝරෙගලා ගිය
සිත් සමුදාය
අකුරු විනිනම්?

Monday, August 14, 2017

සුළඟ

සුළඟ දැවටී එතී
අතු ඉති අතරින්
සුවද රැගෙන ගියා
සිසිලස ඉතිරිකර

සුළඟ නොදැනීම
රොන් ගසා ගියා
මල ඉතිරි කර
මලේ ජීවය සමග

සුළඟ  හමාගියා
කදු මිටියාවත් පසුකර
ගස මල් රැදි අතුපතරින්
වැනුනා දෙපසට සුළඟේ
සැඩ පහරින්.

කාව්‍යාංශ!

Wednesday, August 9, 2017

නොමේරූ කරල්

අත් පටලා පෙරදා
මල පාරේ ඇවිද ගියා
සිනිඳු අතැගිලි අතර සිරවි
සොදුරු උණුසුම අප යාකලා.

අහම්බයකින් අදුනාගත් ඔබ
ඔබමයි මා හා කතා කලේ,
සොයුරු දම් ටිකකලක් විනි
සබඳකම් ඉන් ඔබ්බට ගියා

ඉගිබිගි පෑවා හොරැහින් බැලුවා
කොනකින් සිනාසුනා
ඔබගේ නෙත් කැල්මට
නොදැනීම මා වසග වුනා

අප දෙදෙනා වෙලුනා
රස ගගුලේ කිමිදුනා
අකුණු සැර විහිදමින්
මල් පෙති සිදුනා

හිම දියව ගියා
උණු දිය වැගිරුනා
ගිම්හානය එලැඹියා
අප දිගටම වැතිරුනා

අත්තනෝමතික තකතීරු තීරණ
කාලයේ වැලි තලාවෙන්
අප අපටම නොදැනීම
වසා අප වෙන් කලා.

ප්‍රේමයක් නොවුණු තැන
පාළුව කාන්සිය නොදැනුනද
ඔබේ උණුසුම මට
අමතක නොවේ කිසිදින

කාලයකට පසුව
අහම්බෙන් ඔබ දුටුවිට
මුවින් නොදොඩා
එකත් පස්වැ හිද
බලා හුනෙමි
ඔබට නොදැනෙන ලෙසට.

එක්ව සිටි කල
නැගේ සිහියට
එදත් අප අපගේ නොවිණි
අද කෙසේ අප අපේ වන්නද

මතකයට ඉඩදී
ඔබට නිදහසදී
එක් නොවුනත්
වෙන් වෙමි
අනාගතයට ඉඩදී