Wednesday, November 27, 2019

යාළු

උඹ හරි ලස්සන වෙලනෙ බං
හැඩ ඇතැයි හිතුවෙ නෑ මං
මෙච්චර කාලයක් ගෙහුං 
කොරගන්ට බැරිඋනා මුහුං

දෙමුහුං ගැට දෙකයි 
ලෑලි කෑල්ලක් වගෙයි
දැන්නම් හරි අගෙයි 
හංස ජෝඩුව වගෙයි

කලු ලෑල වගේ පෙනුන
හුණු කූර වගේ හිනැහුන
රතඹර වාගෙයි පිපුන
අද දිලිසෙන නුඹෙ මුහුණ

බොංචි කෝටු දෙකක් ගසා
හදා තිබුණ බෝනික්කා 
පුළුලුකුලෙන් විහිදෙන්නා 
පිරිපුන් බව සමගින්නා 

වෙලේ පැලේ තනි රකින්නට 
වෙල අද්දර හිටි පඹයට
අකුණු සැරක් වැදුණු ලෙසට
දිදුලනවා සුරගනක ලෙසට

විරිත්‍තලා දත් පෙන්නා 
හද පතුලෙන් හිනා උනා
අවුරුදු විස්සක් ගෙවුනා
ඒ ලෙසටම හිනා උනා 

Wednesday, November 20, 2019

දිශා

පහන් කණුවක් යට
අධිවේගී පිවිසුම් මුල 

හිරු අවසන් හුස්මක
ගිණි පුලිගු අහස ගුගුරණ 

මහ වරුසාවට පෙර 
නිවසට රිංගන්ට

අනන්තය දෙසට යන 
මාර්ගය දෙස බලා හිදී 

Friday, November 15, 2019

ආදරේ

ආදරේ සෝස් වගේ
කට දෙපැත්තේන්ම පෙරේ
තමන් නොකා බලෙන් වගේ 
අනෙකාගේ කටේ ඔබයි,

හිත රිදෙයි කියා
නොකැමැත්තෙන් ඔබා ගනී
සුපිරි හෝටලේ 
කෑම පිගන් ඉවර උනේ

කුකුල් කටුයි, 
ඉතිරි පොතුයි
පිගානයත් මේසෙ හැටිත් 
බ්ලූමැන්ඩල් පරයා යයි

දුටු දසුනින් සිත් සැලිලා 
හෝටලයෙන් යන්න උනා
ආදරයත් බොදවගියා
සෝස් බෝතලේ හැලුනා

යුද්දෙ වගේ සද්ද ගොඩයි
පිගන් වගේ මූණ පෙනෙයි 
දරු මල්ලන් අතේ කරේ
පිටුපස්සෙන් දුටු අනාගතේ 
 

Wednesday, November 13, 2019

නිරපේක්ෂ

ත්‍රීරෝද රතයේ හිදින සද
දෑස් අඩවන්ව නිද්‍රවක 
හදවත නොසැලෙන කල
දගලන ගැස්සෙන අසුන
වේගයෙන් ඇදෙන රතයක විලස
දැනුනේද?

ගිමන් හල පොළොව මත
දෑස් පියන් පත් නැමිලා
සිසිල් අන්දකාරේ ගිලිලා
නිසසල මහීකතගේ 
අධිවේගී පරිබ්‍රමණය
නොදැනුනේද?

හිත් විඩා මගහැර
සිත්සතන් විහිදාහැර
එක් සිත්ව එක්සත්ව 
ත්‍රීරෝද රතයත්, මිහිමඩළත්
වේගයෙන් යන සැටිත්
අත්දුටිවේද?

අනෙකුන් පරයා
නොසෙල්වෙන සද
නිසල සිතේ චායාව
නිරපේක්ෂ ක්ශිතිජයේ 
නොසැලී ඇති සැටි 
කවදා දකිම්ද?

Wednesday, November 6, 2019

මල්

සිගිති ඉරක් බැබලෙන්නේ
මල් පොකුරක් හිනැහෙන්නේ
සුලං රැල්ලෙ නටමින්නේ
පුංච් කැකුළ සිටගන්නේ

සිසිල් කැරලි දිය දගරා 
ගලා ගියා මුහුණ පුරා
සුදෝ සුදින් සැරසීලා 
මල්මද බිසෝ පැමිනීලා

දිය බත් වූ දංකුඩයක්
තිත්ත නොවූ තේ උගුරක් 
උදෑසනට මහ ඔසුවක්
තිබුණා නම් මහ ඵලයක්

ලැජ්ජා වීලද අහසත්
ඉර පැත්තක් වහගෙන විත්
නෝක්කාඩු වක්ද සිතත් 
සිප් මැදුරට යන්න වෙතොත්

වෙනදා හිනැහෙන වැටකෙයියා මල් අතරින්
රුදුරු රකුස් වෙස් අරගෙන රත් පැහැ එළි දැල් විදිමින්
ඊතල විත් සවන් දෙපල පලා දමා දඩුවිලසින්
කිණිසි හිසක් එක එල්ලේ වැදුනා පපුළැම පුපුරවමින්

සුළගින් දෝ බෝවන්නේ 
එපා ආයෙ මෙහෙ එන්නේ
මව් තුමියයි ගෙන එන්නේ 
ඒඩ්ස් කියා සැලවෙන්නේ