Sunday, October 25, 2020

පොඩිඑකාගෙ චිත්‍රය

පොඩිඑකා චිත්‍ර ලිවීමට රුසියෙකි, ඌ චිත්‍ර අඳින්නේද ලියන්නේද යන්න පොත උඩුයටිකුරු කර කට උල්කර බැලුවත්      තේරුම් ගැනීම උගහටය. ඒවා කතා චිත්‍ර නොහොත් චිත්‍ර කතාය. 
පොඩිඑකාගෙ චිත්‍රය වගේ කියමනට කිව්වත් මේක එසේ මෙසේ එකක් නොවෙන්නේ සියුම් විස්තර එකිනෙකට ගලපා ඇඳ තිබීමයි. 
ඉඳ හිට බොන hot chocolate  බීම චිත්‍රයේ ලොකුවට වක්කර තිබුනත් ජීවිතයටවත් එය උන්දෑවිසින් රස්නෙන් නොබී තිබීම හරිම විනෝදජනක් අත්දැකීමකි හරියට එළුවා රැවුල කපන්න ගියා වගේය.
ගෙදර මූලාසනය උදේ 6 යේ සිට ඔපීසියට ගාල්කර නැවත ගෙට වද්දාගන්නේ හවස හයෙන් පසුවයි.  
ලමාතැනී වළඳෙන් උපමාකර දක්වන්නේ විමසිලිමත් කෝනයකිනි. වලං සේදීම එතරම් විනෝදජනක කර්තව්‍යයක් නොවනවග මනාවට ඕ අඳුනාගත්තත් ලමාතැනී ඒවගක් තඹයකට මායිම් නොකරන්නීය. 

කතාවේ උත්කෘෂ්ඨ අවස්ථාව එළඹෙන්නේ අතිජාත මිත්‍රයාගේ ආගමනයත් සමගම ඕතෙමේ ගේ ආරාධනයයි. ඉන් මුසපත් වන්නෝ පොඩිඑකා ඇගේ බාල සහෝදරී හා ලමාතැනී වන්නාහ. 
ලිවීමද, ඇඳීමද කෙසේවෙතත් කතාව නියම කැඩපතෙකි. 

කෙටි කතාව මගින් නිමයි. !!!! 

Saturday, October 24, 2020

ගඟ

ගඟ ගලා බසී
දෙඉවුර දෙපස බලාසිටී 
ගඟ පලළට 
ඇති ඈතට 
ඉවුරු දෙකක් 
ගඟ නැති තැන
ලංවනවා නිතැතින්

ගඟ ගලා බසී
කඳු පන්තිය 
තැනින් තැනින්
මුදුන් දෙකක්
නිම්නයකින් 
හාවන්නේ නෑ කවදත් 

ගඟ ගලා බසී
රළු වැහි රැලි
ඉහල ඉමේ
ඉවුරු දෙකත් 
පරිස්සමෙන් 
දෙගොඩතලා 
නොයන් කිසිත් 

ගඟ ගලා බසී 
ඉවුරු දෙකත් 
දෙපසින්නේ 
පෙන කැටි හැම
විසිවන්නේ
ගඟ සතුටින්නේ
මම ගඟ නම්!