Wednesday, October 31, 2018

හඩ

සොඳුරු කටහඬ
නුපුරුදු නැතිමුත්
දුන් පණිවිඩ
අකමැති සැමවිට
තරහ අවුස්සා
විසිකර දැමුවත්
හඬට නොදෙවනි
කෝල බැල්මෙන්
හද කිතිකවා
හඬ උපද්දා
ශෘංගාර ජනිත කර
හඬ, රුව, කෝල කම්
එකට කැටිකොට
නව මානයක්
පෙන්වා වදාරා
නැවත නැවතත්
ඇස් කන් පිනවූ

මානවිකාවිය,

Saturday, October 6, 2018

හිරු

දිනගනන්
සමහරවිට
සතියක් ඉක්මවා
අහස් කළු කර
මුහුණ එල්ලාගෙන
අනෝරා වැසි පරයා
නොනැවතී වැටෙන
මල් තුහින!

නිල් අහස පාදා
හිරිකඩ නවතා
වලාකුළු පළුදු
අතරින්
අදුරු සිත් සනහා
මහ පොළොව
පතිතවන
හිරුකිරණ!

Tuesday, October 2, 2018

සුළඟ

ගුරුපාර දිගේ ඇවිද ගිය මම තිගැස්සී බැලුවේ ශබ්ද නගා මා පසු කර වේගයෙන් ගිය ස්කූටර් දෙකක තරගය නිසාවෙනි. කාලාන්තරයක් පසුවී ගම පැමිණි මට එහි වූ වෙනස පෙනුනත් මහා විශ්මයක් ඉන් ජනිත නොවීය. ඒ වෙනස මාවිසින් බලාපොරොත්තු වූවා වියහැක. ඈත වෙල්‍ යාය සිඹගෙන පැමිණි මද නල මා සිරුර සනහාලූයේ ගම පැමිණි කාරණය සර්වසම්පූර්ණ කරමිනි.

ඈත යන ස්කූටර් දුටු මට සිහිපත් වුනේ පෙර දිනයක මා සොයුරු හා සම මිතුරන් හා සමගින් කෙළිදෙලෙන් ගතකල සුන්දරතම කාල වකවානුවේ අසිරියයි.
පයින් ඇවිද තුරුසෙවනේ උන් සමගින් ගිය මම අද තනිව ඉබාගාතේ ඇවිද යමි.

ගම අතහැර ගියේ රට රාජ්‍ය අත්පත් කිරිමට නොවුවද තිබූ බලාපොරොත්තු බිදී මෙලෙස නිච්චාභංගත්වයට පත්වේයැයි, කිසිදා නොසිතුවෙමි. ගමත් එක්ක අත්හැරුනේ මිත්‍රත්වයට එහා ගිය සහොදර කමින් වෙලුනාවූ කොළු කෙලි ගොන්නකි.
ගමින් ඔබ්බට තැනින් තැන මිතුරන් හමුවුවද සැබෑ මිතුරන් වූයේ ඉන් එකෙක් හෝ දෙදෙනකි. එක්ව යාහැකි දුර කෙටිවිනි, ගමනේ අදියර පසුකරනවිට උන් උන්ගේ මගේ ගියහ. තාවකාලික තොටුපොළ මෙන් වූ බොහෝ මිතුරු ඇසුර වැස්සකට ඉහළූ කුඩ මෙන්, වැස්ස අවසන අකුලා තැබුනු තැන් සෙවීම් අපහසු වූ.
දියුණුව හැරදා පශ්චාත්තාප වීමට මූලික හේතුව හුදකලාවමැයි එකහෙලා නිශ්චය කල නොහැක. නමුත් යමක් වැරදී කොටසක අඩුවක් දැඩිලෙස දැනේ.
සියල්ල අත්හැර නැවත ගම ආමි. එහි හේතු සෙවීමට උත්සුක නොවූයේ කිසිවක් හරිහැටි පසක් කිරීමට නොහැකි නිසාවෙනි.
ගම එසේම විය, ගමේ බයියෝද සිටියහ. කලක් එකට සිටිඋන් අතින් කටින් එල්ලාගෙන කරකියා ගත නොහී හිටිවනම සිටියහ. දුටු සැනකින් නැගුණු සිනහවත් අව්‍යාජ සතුටු කදුළුත් ඉපැරණි සෙනෙහස විදහා පෑය.
ඔවුන්ද තිබූ මගේ ගොසිනි, ගුරු පාර දිගේ තවත් ඉදිරියට ඇදෙන විට නැවත සිසිල් සුලං රැලි මාගත සැනහෙන ලෙස හමාගියද එය කිසිදා පෙර හමාගිය සුලං රැල්ලම නොවන්නේය.

වචනනැති කතා!